යල කන්නයේ වී මිලදී ගැනීම ඇරඹෙයි - පළමු දිනයේදී රුපියල් මිලියන 3ක වී මිලදී ගනී

PranaNews.lk

යල කන්නයේ වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන ඊයේ (13) ආරම්භ කිරීමත් සමඟ පළමු දිනයේදී රුපියල් මිලියන 3ක පමණ වටිනාකමකින් යුත් වී මිලදී ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඊයේ දිනයේදී වී මෙට්‍රික් ටොන් 25ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බවයි.

මෙවර යල කන්නයේදී සමස්තයක් ලෙස වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජය අපේක්ෂා කරන බවත්, ඒ සඳහා දිවයින පුරා වී ගබඩා 148ක් ඔස්සේ මිලදී ගැනීම් සිදු කරන බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම දැනට එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2,500ක් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර, අවශ්‍යතාව අනුව එම ප්‍රමාණය සංශෝධනය කිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන්නේ නම්, පෞද්ගලික අංශයේ ගබඩා තාවකාලික පදනම මත ලබාගෙන වී ගබඩා කිරීමේ කටයුතු සිදු කරන බව ද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.