22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද පාර්ලිමේන්තුවට

PranaNews.lk

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථනිරූපණය කථානායකවරයා වෙත ලැබී ඇති අතර, ඊට අදාළ නිවේදනය අද (22) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කථානායකවරයා නියමිතව තිබෙනවා.

අද සිට ලබන 25 වන දින දක්වා පාර්ලිමේන්තු වාරය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් පසුගිය අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව එම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් විවිධ පාර්ශ්ව මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබුණා.

එම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත්, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ දීර්ඝ ලෙස විභාගයට ගැනුණා.

පසුගිය සැප්තැම්බර් 02 වනදා එම පෙත්සම් විභාගය අවසන් කළ විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ඊට අදාළ නිල අර්ථ නිරූපණය කථානායකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය එළඹෙන 24 සහ 25 යන දෙදින තුළ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.