ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීම සඳහා යෝජනා වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි විරෝධය පළ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් යුත් විශේෂ ලිපියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වූ දින සිට ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයසෙහි කිසිදු වෙනසක් සිදුකර නොමැති අතර, එය වෙනස් කිරීමට සාධාරණ හෝ ප්‍රබල ආයතනික අවශ්‍යතාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව නීතිඥ සංගමය පෙන්වා දෙනවා.
වත්මන් විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම පමණක් අරමුණු කර ගනිමින් මෙවැනි ව්‍යවස්ථා සංශෝධන සිදු නොකළ යුතු බවත්, එවැනි පියවරක් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ බලපෑමක් එල්ල කළ හැකි බවත් එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
පසුගිය ජූලි 14 වැනිදා පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මෙම යෝජනාව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය පත් කරන පෙර කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව ද නීතිඥ සංගමය සඳහන් කළා.
එමෙන්ම, කිසිදු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පිළිබඳ පරිපූර්ණ අධ්‍යයනයක් සිදුකර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යාංශය, අධිකරණය, නීතිඥ සංගමය සහ අනෙකුත් ප්‍රමුඛ පාර්ශ්වයන් නියෝජනය වන කමිටුවක් පත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් මහජන සාකච්ඡාවක් සහ ව්‍යුහගත උපදේශන ක්‍රියාවලියක් ද පැවැත්විය යුතු බව නීතිඥ සංගමය අවධාරණය කරන අතර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙස ද අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබෙනවා.