එංගලන්තයට පළමු එක්දින තරගයෙන් ලකුණු 89ක විශිෂ්ඨ ජයක්

PranaNews.lk

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 89ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

චෙස්ටර්-ලී-ස්ට්‍රීට් හි පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 1ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 265ක් රැස් කිරීමටයි සමත් වූයේ.

එංගලන්ත ඉනිම වෙනුවෙන් හැරී බෘක් ලකුණු 67ක් සහ විල් ජැක්ස් ලකුණු 46ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සචින්දු කොළඹගේ කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

අනතුරුව ලකුණු 266ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 37ක් තුළ සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් රැස් කළ අතර, විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ විල් ජැක්ස් ලකුණු 18කට කඩුලු 5ක් දවාගනිමින් එංගලන්ත ජයග්‍රහණය තහවුරු කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.