ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 6ක සහ එහි අධ්‍යක්ෂවරුන්ගේ සියලුම දේපොළ මෙන්ම අනෙකුත් වත්කම් පැවරීම, විකිණීම හෝ වෙනත් කිසිදු අයුරකින් ගනුදෙනු කිරීම තහනම් කරමින් විශේෂ තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කරන්නේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වන වගන්තිය යටතේ මෙම නියෝග පනවා ඇති අතර, පසුව කොළඹ මහාධිකරණය මගින් ද එම නියෝග තහවුරු කර තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.
මෙලෙස වත්කම් තහනමට ලක්ව ඇති සමාගම් වන්නේ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම, සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (පුද්ගලික) සමාගම, සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්, ප්‍රෝ ෂොප් ඇඩ්වර්ටයිසිං හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, ඇතැන්ස් ඉන්ටර්නැෂනල් එඩියුකේෂන් සෙන්ටර් (පුද්ගලික) සමාගම සහ එයන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රොඩක්ෂන් ඉන්ටර්නැෂනල් කම්පැනි (පුද්ගලික) සමාගමයි.
මින් කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සහ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් යන සමාගම් දෙකට එරෙහිව මුදල් ව්‍යාපාර පනතේ 42 වන වගන්තිය යටතේ විමර්ශන ක්‍රියාත්මක වන බවත්, සෙසු සමාගම් හතර පනතේ 2 වන වගන්තිය උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස තැන්පතු ලබාගෙන ඇති බවට මීට පෙරම තහවුරු කර ඇති බවත් මහ බැංකුව පෙන්වා දෙනවා.
එමෙන්ම බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබාගත් හෝ නීත්‍යානුකූලව නිදහස් කර ඇති ආයතනවල පමණක් මුදල් තැන්පත් කරන ලෙස මහ බැංකුව ජනතාවට දැඩි ලෙස අවධාරණය කර සිටිනවා.
මීට අමතරව නීති විරෝධී ලෙස මුදල් තැන්පත් ලබාගන්නා තවත් ආයතන සහ පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් ද මහ බැංකුව මගින් මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.