පාස්කු ප්‍රහාර නඩුවේ ඓතිහාසික තීන්දුව නිකුත් වෙයි - නවුෆර් මවුලවී ඇතුළු 15කට වසර 200 පැනපූ දීර්ඝ බරපතළ සිරදඬුවම්

PranaNews.lk

2019 වසරේ සිදුවූ දරුණු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විභාග වූ දීර්ඝ නඩුවේ ඓතිහාසික අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, වරදකරුවන් වූ විත්තිකරුවන් 15 දෙනෙකු සඳහා වසර 200කට වැඩි බරපතළ සිරදඬුවම් නියම කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (22) පියවර ගත්තා.

ඒ අනුව වරදකරුවන් වූ විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින් ද, තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින් ද, විත්තිකරුවන් 4 දෙනෙකුට වසර 240 බැගින් ද සහ එක් විත්තිකරුවෙකුට වසර 260ක් වශයෙන් ද දීර්ඝ බරපතළ සිරදඬුවම් නියම කෙරුණා.

එමෙන්ම ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විත්තිකරුවන් 15 දෙනා සතු සියලුම නිශ්චල සහ චංචල දේපළ රාජසන්තක කිරීමටයි අධිකරණය නියෝග කර සිටියේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නඩු තීන්දුව ලබාදුන් අතර, නීතිපතිවරයා විසින් එල්ල කර තිබූ සියලුම චෝදනා සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි අධිකරණය තීන්දු කළේ.

ඒ අනුව නඩුවේ ප්‍රධාන විත්තිකරුවෙකු වන මොහොම්මදු ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් නොහොත් නවුෆර් මවුලවී, ගෆූර් මාමා, හයාතු මොහොම්මදු මිල්හාන්, මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලා, මොහොමඩ් ඊබ්‍රාහිම් සාහිඩ් අබ්දුල්ලා ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු ඉදිරිපත් කළ සියලු විත්තිවාචක අධිකරණය මගින් නිශ්ප්‍රභ කරනු ලැබුවා.

එමෙන්ම අදාළ නඩුවේ 10 වන විත්තිකරු එක් චෝදනාවකින් පමණක් නිදොස් කොට නිදහස් කෙරුණු අතර, සෙසු විත්තිකරුවන් 9 දෙනා චෝදනා සියල්ලෙන්ම සම්පූර්ණයෙන්ම නිදොස් කොට නිදහස් කිරීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.

ඊයේ පෙරවරු 11.30ට පමණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කරමින් සභාපති විනිසුරු නවරත්න මාරසිංහ මහතා සඳහන් කළේ, වෙළුම් 9කින් සහ පිටු 8,900කින් සමන්විත අධිචෝදනා පත්‍රයක් විත්තිකරුවන්ට භාර දී තිබූ බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම, අන්තවාදී අදහස් ප්‍රචලිත කිරීම සහ ජාතීන් අතර අසමගිය ඇති කිරීම යන කරුණු යටතේ චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් වෙනුවෙන් මෙම නඩුව විභාග වූ බවත්ය.

කුමන්ත්‍රණයකට සම්බන්ධ වන පුද්ගලයන් එකම ස්ථානයක සිටීම අත්‍යවශ්‍ය නොවන බවත්, සෘජුව හෝ වක්‍රව ඊට එකඟ වීම ප්‍රමාණවත් වන අතර ආරම්භයේදී, මැදදී හෝ අවසානයේදී සම්බන්ධ වන ඕනෑම අයකු එහි පාර්ශ්වකරුවකු වන බවත් සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේදී වැඩිදුරටත් අවධාරණය කළා.

2019 අප්‍රේල් 21 වනදා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ සහරාන් හෂීම් ඇතුළු මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකු විසින් එල්ල කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අහිංසක මිනිසුන් 269 දෙනෙකුට ජීවිත අහිමි වී තවත් 500කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, වසර කිහිපයක් තිස්සේ විභාග වූ මෙම නඩුවේදී පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබෙනවා.

මෙම ඓතිහාසික නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ සිටම අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අවට විශේෂ පොලිස් කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බලකාය, සුනඛ අංශ සහ ජංගම සීසීටීවී රථ යොදවමින් ආරක්ෂාව උපරිමයෙන් තර කර තිබූ අතර, තීන්දුව ශ්‍රවණය කිරීම සඳහා කතෝලික සභාව නියෝජනය කරමින් පූජ්‍ය පක්ෂය ඇතුළු විශාල පිරිසක් ද අධිකරණ භූමිය වෙත පැමිණ සිටියා.