මීගමුව බන්ධනාගාර ගැටුම - හිස් උණ්ඩ 271ක් සොයාගත් බව CIDය අධිකරණයට දන්වයි

PranaNews.lk

 

මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී බන්ධනාගාර භූමිය තුළ තිබී හිස් උණ්ඩ 271ක් සොයාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ, T-56 ගිනිඅවියක් සහ මැගසින් එකක් ද බන්ධනාගාර අභ්‍යන්තරයෙන් සොයාගෙන ඇති බවයි.

මේ වන විට මීගමුව බන්ධනාගාරයේ සහ වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් භාවිත කළ ගිනිඅවි 60ක් විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව ද එහිදී අනාවරණය කෙරුණා.

විමර්ශනවලදී මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 136 දෙනෙකුගෙන්, රැඳවියන් 141 දෙනෙකුගෙන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 9 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, ගැටුම සිදුවූ අවස්ථාවේ බන්ධනාගාරයේ රැඳවියන් 2,417 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 166 දෙනෙකු සිට ඇති බවත් CIDය අධිකරණයට දැනුම් දුන්නා.

නොසන්සුන්තාවය ආරම්භ වූයේ පසුගිය ජූලි 5 වැනිදා A(1) වාට්ටුවේ රඳවා සිටි රැඳවියෙකු සහ බන්ධනාගාර නිලධාරියෙකු අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව බවත්, එය පසුව බන්ධනාගාරය පුරා පැතිරුණු ප්‍රචණ්ඩ ගැටුමක් බවට පත්වූ බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

මේ අතර, බන්ධනාගාරයේ CCTV පද්ධතියට අදාළ දෘඪ තැටි දෙකක් නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඒවා මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක වෝහාරික විද්‍යාගාරයට යොමු කර වාර්තාවක් ලබාගැනීමට නියමිතයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මීගමුව මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය, ගැටුම සිදුවූ අවස්ථාවේ බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

එමෙන්ම, පසුව වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති සියලු රැඳවියන්ගෙන් ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ ප්‍රකාශ ලබාගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය, නඩුව ලබන 16 වැනිදා යළි කැඳවීමට නියම කළා.