මෝදී සහ අනුර අතර දුරකථන සංවාදයක්

PranaNews.lk

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ඊයේ (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.

ෆේස්බුක් සටහනක් තබමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම සංවාදයේ දී මැදපෙරදිග වර්ථමාන තත්ත්වය මෙන්ම එයින් ගෝලීය බලශක්ති ආරක්ෂාවට ඇති බලපෑම් පිළිබඳව සාකච්ඡා කළ බවයි.

මෙහිදී විශේෂයෙන්ම බලශක්ති සැපයුම් දාමයන්ට ඇති බාධා සහ ඒවායේ ගෝලීය බලපෑම් සම්බන්ධව අවධානය යොමු කර තිබෙනවා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ගෙන යන ප්‍රධාන වැඩසටහන්වල ප්‍රගතිය ද මෙහිදී නායකයින් සමාලෝචනය කර ඇති බව සඳහන්.

තවද කලාපීය ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා ඉන්දු ශ්‍රී ලංකා සමීප සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කමද මෙම දුරකථන සංවාදයේ දී අවධාරණය කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය සටහනෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අසල්වැසි සහ විශ්වාසනීය හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, පොදු අභියෝගවලට මුහුණ දීමට එකමුතුවෙන් කටයුතු කිරීමට තම කැපවීම නැවත තහවුරු කළ බවයි.