රට තුල පවතින තත්ත්වය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම වෙනුවෙන් පාසල් පැවැත්වීම සීමා කිරීමට කිසිඳු රජයක් මේ දක්වා තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
නියමිත පරිදි වාර අවසන් කිරීම අප්‍රේල් මස 10 වනදා පවතින බවත් එතෙක් බදාදා දිනයන්හි පමණක් පාසල් නොපැවැත්වීමට නියමිත බවත් ඔහු මෙහිදී කියා සිටියා.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධව පසුගිය කාලය පුරා ඇතිව තිබූ අවිනිශ්චිතභාවය ගුරුවරුන්ට මෙන්ම දරුවන්ට පීඩාකාරී වූ බැවින් හැකිතාක් දුරට පාසල් දින 4ක් සතිය පුරා පැවැත්වීමට අපේක්ෂිත බවයි.
මේ අතර ඩීසල් මෙට්‍රික් ටොන් 37000ක් රැගත් නෞකාවක් ලබන මාර්තු 25 වනදා දිවයිනට ළඟා වීමට නියමිත බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
"මාර්තු 7,8 දිනවල පෙට්‍රල් මෙ.ටො. 37,000ක නැවක් ලංකාවට ගෙන්වා ගත්තා. ලෝක වෙළෙඳපොලේ මිල ගණනන් වැඩිවීම මේකට ඇතුළත් වෙලා තියෙනවා.
ඒ වගේම මාර්තු 25වනදා ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතයි".
මේ අනුව පසුගිය 17 වනදා යොමු කළ ටෙන්ඩරයට අනුව ඉදිරියට මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවන් ගැන අමාත්‍යවරයා මෙහිදී අදහස් පළකළා.
අප්‍රේල් 6,7,8 - ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක්
අප්‍රේල් 12 සහ 13 - දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
අප්‍රේල් 10 සහ 11 - ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000
අප්‍රේල් 16 සහ 17 - පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක්
අප්‍රේල් මසට නියමිත මෙක්ට්‍රික් ටොන් 30000ක බොරතෙල් නැව නොපැමිණෙන බවත් ඒ වෙනුවට ජුනි මසදී මෙක්ට්‍රික් ටොන් 30000ක බොරතෙල් නෞකාවක් පැමිණෙන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
අමාත්‍යවරයා පැවසුවේ ඊයේ (21) සිදුකළ ඉන්ධන මිල වැඩි කිරීම තුළ ඩීසල් ලීටරයක මිල රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් රජය විසින් දරාගෙන ඇති බවයි.
ඒ වෙනුවෙන් රජය මසකට රුපියල් බිලියන 20ක් දරන බවද ඒ මහතා මෙම මාධ්‍ය හමුවේ දී පැවසුවා.
රජයට මෙම බර සම්පුර්ණයෙන්ම දැරීමට සිදුවනවා නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද ඔහු පැවසුවා.
ඒ මහතා සඳහන් කළේ එලෙස සිදුවුවහොත් තෙල්වලට පමණක් නොම සමස්ථ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවයි.
“යුද්ධය ගැන කිසිවෙකුට පුරෝකථනය කළ නොහැකියි. ඇමෙරිකාවට, ඊශ්‍රායලයට, ඉරානයට හෝ තදාසන්න රටවලට යුද්ධය අවසන් වෙන්නේ සතියකින්ද දෙකකින්ද කියන්න පුළුවන් කමක් නෑ. අපේ අපේක්ෂාව යුද්ධය හැකි ඉක්මනින් අවසන් වේවා යන්නයි. යුද්ධය හෙට අවසන් වුවත් විශේෂයෙන් ආර්ථිකයට, තෙල් නිෂ්පාදනයට, යටිතල පහසුකම්වලට එල්ල වෙලා තියෙන බලපෑම අනුව, අපේ ආර්ථිකයට යුද්ධයෙන් වෙන බලපෑම එක රැයෙන් එක මොහොතින් අවසන් වෙන්නේ නෑ. එය අප මතක තබා ගතයුතුයි.”
අප රටක් ලෙස ඉන්ධන පරිභෝජනය අවම කළ යුතු බවත් එයට පිලියමක් ලෙස QR කේතය හඳුන්වා දුන් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
ඒ අනුව ගත වූ දින කිහිපය තුළ පුද්ගලයින් 5,995,365ක් QR කේතය සඳහා ලියාපදිංචි වී තිබෙනවා.
අමාත්‍යවරයා කියා සිටියේ QR කේතය සඳහා නව ලියාපදිංචි වීම් මිලියන 2ක් වාර්තා වී ඇති බවයි.