ගල්ගමුව ප්‍රදේශයේ සැරිසරමින් සිටි ‘කාවන්තිස්ස’ ඇතාට කඩිනමින් ප්‍රතිකාර ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
නිකවැරටිය පශු වෛද්‍ය පුබුදු මහත්මිය ප්‍රමුඛ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරී කණ්ඩායමක් ඊයේ (24) උදෑසන සිට උස්ගල සියඹලාන්ගමුව වැව ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවයි මෙලෙස ඇතාට ප්‍රතිකාර ආරම්භ කිරීමට පියවර ගෙන ඇත්තේ.
පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ සෘජු මැදිහත්වීම යටතේ, පශු වෛද්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ගංගා මහත්මියගේ උපදෙස් මත මෙම ප්‍රතිකාර කටයුතු සිදු කෙරෙනවා.
ඒ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන්, වනජීවි නිලධාරීන් මෙන්ම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් ද එක්ව සිටින බවයි වාර්තා වන්නේ.
කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පශු වෛද්‍ය කටයුතු අඛණ්ඩව සිදුකරන බව පවසන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පශු වෛද්‍ය කණ්ඩායම් සහ වනජීවි නිලධාරීන් යොදවා ඇතාගේ තත්ත්වය පිළිබඳව නිරන්තර අධීක්ෂණයක පසුවන බව ද වැඩිදුරටත් සඳහන් කළා.