ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුව ගත් තීන්දුව

PranaNews.lk

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මතුව අතු ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ ඉන්ධන මිල ඉහළ යාම සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණ කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.

මේ අනුව දැනට දිවයින පුරා පිහිටි තැපැල් හුවමාරු කිරීම් දිනක් හැර දිනක් සිදු කිරිමට සහ සෑම බදාදා දිනකම තැපැල් ප්‍රවාහනය නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ දිවයින පුරා පිහිටි තැපැල් දෙපාර්තමේන්තුවේ වාහනවලින් තැපැල් ප්‍රවාහන කටයුතු මේ අයුරින් සිදුවන බැවින් ප්‍රවාහනයේ යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.

තවද මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් මතුව ඇති තත්ත්වය හමුවේ විදෙස් තැපැල් සාමාන්‍ය පරිදි නොලැබෙන බවද තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරනවා.

එම පෙරමුණ පෙන්වා දෙන්නේ ඊට අමතරව මෙරටින් විදෙස් රටවල්වලට පිටත්වන තැපෑල ද මේ වන විට දැඩි ප්‍රමදයකට ලක්ව ඇති බවයි.

කෙසේ වෙතත් තැපැල් කාර්යාල විවෘත කිරීම බදාදා සහ ඉරිදා දින හැර අනෙක් සෑම දිනයකම සිදුවන බවත් ඒ අනුව පාරිභෝගිකයින්ට සිය තැපැල් භාණ්ඩ තැපැල් කාර්යාල වෙත ලබාදීමේ හැකියාව පවතින බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.