බස් ගාස්තුව 10%කට වැඩි අගයකින් ඉහළට? - නව යෝජනාව හෙට කැබිනට් මණ්ඩලයට

PranaNews.lk

ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම බස් ගාස්තු ඉහළ නැංවීමේ සුත්‍රයට ගැලපු විට මේ වන විට පවතින බස් ගාස්තුවට 10%කට වඩා වැඩි අගයකින් බලපා ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ මේ අනුව නව බස් ගාස්තු වැඩි වීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) දිනයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට නියමිත බවයි.

වත්මනයේ ක්‍රියාත්මක වන්නේ පසුගිය වසරේ ජුලි මස 4 වනදා ප්‍රකාශයට පත් කරන ලද බස් ගාස්තුවයි.

අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එය ගණනය කිරීමේ එම මාසයේ දී ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 289ක්ව පැවැති බවත් මේ අනුව එම මිලට බස් ගාස්තුව ප්‍රකාශයට පත් කළ බවත්ය.

කෙසේ නමුත් ඊයේ (21) දිනයේ දී සිදුවූ ඉන්ධන මිල වැඩි වීමත් සමඟ රුපියල් 303 සිට 382දක්වා ඩීසල් ලීටරයක මිල ඉහළ ගියා.

ඔහු පෙන්වා දෙන්නේ ඒ අනුව ඊයේ (21) දින මිල වැඩි වීමෙන් රුපියල් 79කින් වැඩි වී ඇති බවත් අදාළ කාල සීමාව තුළ ලංකා සුදු ඩීසල් මිලෙහි සමස්ථ වැඩි වීම රුපියල් 93ක් බවත්ය.

මේ අනුව එය බස් ගාස්තු සුත්‍රයට ගැලපු 10%කට වඩා වැඩි අගයකින් බස් ගාස්තු වැඩි වීමට මෙය බලපා ඇති අතර ඒ හේතුවෙන් නව බස් ගාස්තු වැඩි වීම ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා ගැනීම සඳහා හෙට (23) දින පැවැත්වීමට නියමිත අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා යොමු කර ඇති බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් සඳහන් කරනවා.