පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කර තිබෙනවා.
ඊයේ (24) සහ අද (25) දෙදින පුරා පැවැති දීර්ඝ විවාදයකින් අනතුරුවයි මෙම පනත් කෙටුම්පත් දෙකම පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට කටයුතු කළේ.
සම්මත වූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.
එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන ඇති අතර, ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම හරහා ගොඩගැසී ඇති නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශ්වකරුවන්ට කොළඹට පැමිණීමට ඇති අවශ්‍යතාව අවම කිරීමටත් මෙයින් අපේක්ෂා කෙරෙනවා.
මේ අතර අද දින සහතිකය සටහන් කළ 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන සංශෝධන පනත මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ දමා තිබෙනවා.
ඊට අමතරව අතිරේක පළාත්බද මහාධිකරණ සහ සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි මහාධිකරණ විනිසුරුවරුන්ගේ උපරිම සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.