විශාරද ආචාර්ය නන්දා මාලිනියගේ අවසන් කටයුතු අද බොරැල්ලේදී

PranaNews.lk

ප්‍රවීණ ගායිකා, විශාරද ආචාර්ය නන්දා මාලිනී මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (22) පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ඇයගේ දේහය මහජන ගෞරවය සඳහා නාවල විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කර ඇත.

අවමංගල්‍ය කටයුතු සිදුවන අයුරු පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කළේ, අද පස්වරු 3.00 දක්වා සංගීත ආශ්‍රමයේදී මහජන ගෞරවය පිණිස දේහය තැන්පත් කර තබන බවයි.

අනතුරුව පස්වරු 4.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

"උදේ 10ට පාංශුකූල කටයුතු සිදුකෙරෙනවා. ඒ වෙලාවේ පැයක විතර කාලයක් මහජන ගෞරවය සඳහා පිරිසට සහභාගී වෙන්න අවස්ථාවක් නැති වෙයි. පසුව නැවත සවස 3:30 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව ලැබෙනවා. සවස 3:30ට දේහය රැගත් රිය පෙරහැර රාජගිරියේ පාර්ලිමේන්තු පාර ඔස්සේ බොරැල්ල පොදු සුසාන භූමිය දක්වා ගමන් කරනවා. එහිදී පස්වරු 5ට ආදාහන කටයුතු කෙරෙනවා. එතනදී උත්සව සභාවක් සිදුවෙන්නේ නැහැ."