ගෘහස්ථ සූර්ය බලශක්ති (Rooftop Solar) පද්ධති මගින් ජාතික පද්ධතියට විදුලිය එකතු කිරීමේදී පනවා ඇති සීමා ඉදිරියේදී ලිහිල් කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ බැටරි බලශක්ති ගබඩා පද්ධති (BESS) හඳුන්වා දීමත් සමග මෙම පියවර ගැනීමට අපේක්ෂා කරන බවයි.
දහවල් කාලයේදී උත්පාදනය වන සූර්ය බලශක්තිය විදුලි ඉල්ලුමට වඩා වැඩිවීම හේතුවෙන් මෙලෙස ජාතික පද්ධතියට විදුලිය එකතු කිරීමේ සීමාවන් පැනවීමට සිදුවූ බව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
නමුත් නව බැටරි බලශක්ති ගබඩා පද්ධති හරහා දහවල් කාලයේදී උත්පාදනය වන අතිරික්ත සූර්ය බලශක්තිය ගබඩා කරගැනීමට හැකිවන අතර, එමගින් ජාතික පද්ධතිය තුළ තවත් සූර්ය බලශක්තිය එකතු කරගැනීමේ අමතර ධාරිතාවක් නිර්මාණය වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම දහවල් කාලයේ නිපදවන සූර්ය විදුලිය රාත්‍රී කාලයේ භාවිතය සඳහා ගබඩා කරගැනීමට හැකිවන පරිදි ගෘහස්ථ මට්ටමින්ම බැටරි පද්ධති සවිකිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලබාදීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව තිබෙනවා.
මෙවැනි බැටරි පද්ධති සඳහා සුදුසු ප්‍රමිතීන් හඳුන්වා දීමටත්, මෙම තාක්ෂණය භාවිතයට පාරිභෝගිකයින් උනන්දු කරවීම සඳහා හැකි උපරිම බදු සහන ලබාදීමටත් රජය වැඩිදුරටත් පියවර ගනිමින් සිටින බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේ.