ස්විට්සර්ලන්තයේ ලොසෑන් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ 12 වන අදියරේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා වේලාවෙන් අද (22) අලුයම පැවැති මෙම තරගයේදී මීටර් 88.14ක දක්ෂතාවක් දක්වමින් ඔහු මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකර ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමග රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් තරගාවලි ත්‍රිත්වයකම පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්වීම විශේෂත්වයකි.
මෙහිදී ප්‍රබල අභියෝගයක් එල්ල කළ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරාජ් චෝප්රා, මීටර් 88.05ක දක්ෂතාවක් දක්වමින් දෙවන ස්ථානයට පත්වූ අතර එය ඔහු මෙවර තරග වාරයේ දැක්වූ ඉහළම දක්ෂතාව ලෙස සටහන් විය. තරගයේ තෙවන ස්ථානය මීටර් 86.69ක දක්ෂතාවක් දැක්වූ ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්ස්ට හිමිවිය.
23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ, 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ද රන් පදක්කම දිනාගැනීමට සමත් වූ අතර, එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව හිමිකරගත් 6 වන රන් පදක්කමයි.
2006 වසරේදී බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදානගේ දිනූ රන් පදක්කමෙන් වසර 20කට පසුව ශ්‍රී ලංකාව ලබාගත් ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම මෙය වන අතර, 1950 දී ඩන්කන් වයිට් යාර 440 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමෙන් වසර 76කට පසුව ශ්‍රී ලාංකිකයෙකු මලල ක්‍රීඩා ඉසව්වකින් ලැබූ පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම ලෙසද මෙය ඉතිහාසයට එක්වනවා.