පෞද්ගලික අංශයටත් අන්තර්ජාලයෙන් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර

PranaNews.lk

පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද අන්තර්ජාලය ඔස්සේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, ඔක්තෝබර් මාසය වන විට කිසිදු ගැටලුවකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද මෙම පහසුකම හිමිවන බවයි.

රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා මෙම පහසුකම පසුගිය මාසයේදී හඳුන්වා දෙනු ලැබුවා.

මේ අතර, මාර්ග ආරක්ෂාව ඉහළ නැංවීම වෙනුවෙන් නව රෙගුලාසි කිහිපයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, එළඹෙන සැප්තැම්බර් 19 වනදා සිට අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල රියදුරන්ට මෙන්ම මගීන්ට ද ආරක්ෂිත බඳ පටි පැළඳීම අනිවාර්ය කෙරෙනවා.

එමෙන්ම පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත රියදුරන් සඳහා දින දහයක විශේෂ පුහුණුවක් ලබාදීමටත්, රියදුරන් ඉලක්ක කරගනිමින් හදිසි ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවන් නිරන්තරයෙන් සිදුකිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසනවා.

ඊට අමතරව යතුරුපැදිකරුවන් සඳහා SLS ප්‍රමිතියෙන් යුත් ආරක්ෂිත හිස්වැසුම් භාවිතය අනිවාර්ය කිරීමට කටයුතු කර ඇති අතර, ඉදිරියේදී යතුරුපැදි සඳහාම වෙන් වූ විශේෂ මංතීරුවක් හඳුන්වා දීමට ද සැලසුම් කර තිබෙනවා.