ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම සූදානම් වන බව එහි ඉහළ පෙළේ නියෝජිතයින් පවසනවා.
එම සමාගමේ ප්‍රධානී ෂැං බිංනන් ඇතුළු නියෝජිත පිරිසක් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.
එහිදී කොළඹ වරාය නගරය ආශ්‍රිතව දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ විදේශ ආයෝජන දිරිගැන්වීම සඳහා රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව සිය විශ්වාසය පළ කළ චීන නියෝජිතයින්, ඒ හේතුවෙන් මෙරටට තවත් විශාල ආයෝජන ගෙන ඒමට අපේක්ෂා කරන බව සඳහන් කර තිබෙනවා.
විශේෂයෙන්ම පුනර්ජනනීය බලශක්තිය, වෙළෙඳ හා සැපයුම් සේවා සහ ඩිජිටල් තාක්ෂණය යන ක්ෂේත්‍රවල ආයෝජන පුළුල් කිරීමට චීන සමාගම අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එම ක්ෂේත්‍රවල කලාපීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම තුළින් වැඩි ආයෝජන ප්‍රමාණයක් මෙරටට ආකර්ෂණය කරගත හැකි බවද චීන නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා.
මේ අතර, ඉදිරි ආයෝජන ව්‍යාපෘති සඳහා සියයට 90ක පමණ දේශීය ශ්‍රම දායකත්වයක් ලබාගැනීමට අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
එමගින් මෙරට ජනතාවට විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය කිරීමට හැකි වනු ඇති බවටද චීන සමාගමේ නියෝජිතයින් සහතික වී තිබෙනවා.