අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (17) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස උද්ඝෝෂණයකට එක්වූ බවට ගොනු කර ඇති නඩුවකට අදාළව ඇප මත සිටියදී විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තේ මහානාම හිමියන්ටයි.
එමෙන්ම, අදාළ නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා දක්වා කල් තැබීමටද අධිකරණය නියෝග කර තිබෙනවා.
අද පැවති නඩු විභාගයට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ජෙහාන් අප්පුහාමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු සැකකරුවන් පිරිසක් පෙනී සිටියා.
කොටුව පොලිසිය විසින් ඔවුන්ට එරෙහිව අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීම සහ පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා යටතේ නඩු පවරා ඇති අතර, එම නඩුවේ ඉදිරි කටයුතු ලබන දෙසැම්බර් 4 වැනිදා සිදුකිරීමට නියමිතයි.