සුරේෂ් සලේගේ රීට් පෙත්සම සහ මැදිහත් පෙත්සම් යළි කැඳවීමට දින නියම වෙයි

PranaNews.lk

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම වළක්වන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කර ඇති රීට් පෙත්සමට මැදිහත් වීමට අවසර ඉල්ලා ගොනු කර ඇති අතරමැදි පෙත්සම් අගෝස්තු මස 4 සහ 6 යන දෙදින සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියෝග කළා.

එම අතරමැදි පෙත්සම් පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව අටක් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය මහතා ප්‍රකාශ කළේ, පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ දේශනා අවසන් වීමෙන් අනතුරුව එම අතරමැදි ඉල්ලීම් පිළිබඳ අවධානය යොමු කරන බවයි.

මේ අතර, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් සුරේෂ් සලේ මහතා ගොනු කළ රීට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු විමසීම ලබන 21 වැනිදා දක්වා කල් තැබීමටද අධිකරණය තීරණය කළා.

මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන් හමුවේ කැඳවූ අතර, අද දිනයේ පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.