Jaffna Kings හිමිකරු අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්

PranaNews.lk

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17) නිවේදනයක් නිකුත් කරමින් සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය (SIU) විසින් Jaffna Kings කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තා පිළිබඳව තම අවධානය යොමුව ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදුකරන ඕනෑම විමර්ශනයක් සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ LPL සංවිධායක මණ්ඩලය සූදානමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්.

තරගාවලියේ අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැඩිව කැපවී සිටින බවත්, තරගාවලියට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකින් සිදුවන දූෂණ, විෂමාචාර හෝ අනිසි ක්‍රියාවන් කිසිසේත් අනුමත නොකරන බවත් එහි අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම සිද්ධියෙන් LPL 2026 තරගාවලියට කිසිදු බාධාවක් සිදු නොවන බවත්, අද (17) රාත්‍රියේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත Galle Gallants සහ Jaffna Kings අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

එමෙන්ම තරගාවලිය ඉහළම සදාචාරාත්මක හා අඛණ්ඩතා ප්‍රමිතීන්ට අනුකූලව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් දූෂණ විරෝධී ඒකකය, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සමඟ සමීපව කටයුතු කරන බවත්, දූෂණයෙන් තොර සහ වඩාත් විනිවිදභාවයෙන් යුත් තරගාවලියක් සහතික කිරීම සඳහා ස්වාධීන විශේෂඥ සහයද මෙවර LPL තරගාවලිය පුරා ලබාගෙන ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.