මෙවර අයවැයෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගැන යෝජනාවක්

PranaNews.lk

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය 2027 අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

එම උපදෙස් ලබාදී ඇත්තේ අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදීයි.

රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විධිමත් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ඒ සඳහා පවතින නීතිමය සහ පරිපාලනමය බාධක කඩිනමින් ඉවත් කර අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

සංචාරක සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ඒවාට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මුදල් සංචිත වෙත යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නා.

එමගින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ සංචාරක කමිටු අතර සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම සීගිරිය, ගලේවෙල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසද උපදෙස් ලබාදී තිබෙනවා.

මීට අමතරව, කොන්සියුලර් සේවා තවදුරටත් ඩිජිටල්කරණය කිරීම, සංචාරක අමාත්‍යාංශය සතු සම්පත් හා ඉඩම් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම සහ 2030 වන විට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය ලක්ෂ 8ක මානව සම්පත බිහිකිරීම සඳහා හෝටල් පාසල් පුහුණු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන්.