හෝමුස් සමුද්‍රසන්ධිය ආසන්නයේ ඉරානය පවත්වාගෙන යන අවි ශක්තිය මර්දනය කිරීමේ අරමුණින් අමෙරිකාව අඛණ්ඩ හයවැනි දිනටත් දකුණු ඉරානයේ නගර රැසකට ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාර අතරතුර සිවිල් වැසියන් ජීවත්වන ප්‍රදේශ ද ඉලක්ක වී ඇති බවට ඉරානය චෝදනා කරනවා.
ඉරාන වාර්තාවලට අනුව, ප්‍රහාර හේතුවෙන් හෝර්මෝස්ගන් පළාතේ පාලම් පහක් විනාශ වී ඇති අතර, දකුණු ඉරානයේ විදුලි සැපයුම් මධ්‍යස්ථානයක් ද දැඩි හානිවලට ලක්ව තිබෙනවා.
උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඉරාන රජය ජනතාවගෙන් ඉල්ලීමක් ද සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඉරානයේ පාලම් සහ විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් ලබන සතියේ සිට දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අනතුරු අඟවා තිබුණා.
එවැනි පසුබිමක ඉරාන විදෙස් අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රකාශ කර ඇත්තේ, සිවිල් යටිතළ පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම හරහා අමෙරිකාව ඉරානය තුළ යුද අපරාධ සිදුකරමින් සිටින බවයි.