දුම්රිය දෙපාර්තමේන්තුව සතු එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය අඛණ්ඩව අඩුවීම හේතුවෙන්, දැනට ක්‍රියාත්මක දුම්රිය කාලසටහන පවත්වාගෙන යාම දැඩි අභියෝගයකට ලක්ව ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා සඳහන් කළේ, දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල ප්‍රමාණය මේ වනවිට දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.
ඔහු පෙන්වා දෙන්නේ 2023 වසරේදී එන්ජින් 106ක් සංචිතයේ තිබූ නමුත්, මේ වනවිට එය 98ක් දක්වා අඩුවී ඇති අතර, එන්ජින් 8ක් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි. එමෙන්ම, එවකට ගමන්වාර 450කට ආසන්න සංඛ්‍යාවක් පවත්වාගෙන යාම සඳහා එන්ජින් 74ක් අවශ්‍ය වුවද, ධාවනයට සුදුසු තත්ත්වයේ තිබුණේ එන්ජින් 68ක් පමණක් බවද ඔහු සඳහන් කළා.
එම ක්‍රියාකාරී එන්ජින් සංඛ්‍යාව මේ වනවිට 49ක් දක්වා තවත් පහත වැටී ඇති අතර, එය දෛනික දුම්රිය ධාවනයට සෘජු බලපෑමක් එල්ල කරන බවයි ඔහු කියා සිටියේ.
බලවේග කට්ටල සම්බන්ධයෙන් ද එවැනිම තත්ත්වයක් පවතින බව සඳහන් කළ කසුන් චාමර මහතා පැවසුවේ, 2023 වසරේ සංචිතයේ තිබූ බලවේග කට්ටල 109න් 3ක් භාවිතයෙන් ඉවත් කර ඇති අතර, මේ වනවිට සංචිතය 106ක් දක්වා අඩුවී ඇති බවයි.
කෙසේ වෙතත්, පවතින දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා බලවේග කට්ටල 88ක් අවශ්‍ය වුවද, ක්‍රියාකාරී තත්ත්වයේ ඇත්තේ බලවේග කට්ටල 52ක් පමණක් බවත්, ඒ අනුව බලවේග කට්ටල 26ක හිඟයක් පවතින බවත් ඔහු පෙන්වා දෙනවා.
එමෙන්ම, 2023 වසරේදී එන්ජින් සහ බලවේග කට්ටල එකතුව 261ක් ලෙස පැවති අතර, මේ වනවිට එය 242ක් දක්වා පහත වැටී තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට හෝ සංශෝධනය කිරීමට සිදුවිය හැකි අවදානමක් පවතින බැවින්, අවශ්‍ය උපකරණ කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සහ නව සංචිත එක් කිරීම සඳහා වහාම පියවර ගන්නා ලෙස දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.