වනජීවී දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක

PranaNews.lk

සිවිල් ආරක්ෂක නිලධාරීන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති අද (13) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වී තිබෙනවා.

ඒ අනුව, බත්තරමුල්ලේ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් ද සංවිධානය කර තිබුණා.

සමස්ත ලංකා වනජීවී නියාමක නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉන්දික පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි සාකච්ඡාවකින් තොරව අත්තනෝමතික ලෙස සිවිල් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

ඔහු පෙන්වා දුන්නේ, සිවිල් ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීමට තම සංගමය මූලික වශයෙන් විරුද්ධ නොවුවද, එය සිදුකරන ක්‍රමවේදය සම්බන්ධයෙන් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බවයි.

එහෙත්, එවැනි සාකච්ඡාවක් ලබා නොදී බඳවා ගැනීම් සිදු කිරීම හේතුවෙන් වනජීවී නියාමකවරුන්, අඩවි සහකාරවරුන්, අඩවි ආරක්ෂකවරුන් ඇතුළු දෙපාර්තමේන්තුවේ සියලුම සේවක කාණ්ඩවලට අගතියක් සිදුවන බවද ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම, ජූලි 13 වැනිදාට පෙර සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීම් කළද ඊට ප්‍රතිචාර නොලැබුණු බව සඳහන් කළ සංගමයේ සභාපතිවරයා, එම හේතුවෙන් අද දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගය සහ විරෝධතාව සංවිධානය කළ බවද වැඩිදුරටත් කියා සිටියා.