අලුතින් වාහන අංක තහඩු නිකුත් කරන්නේ මෙහෙමයි

PranaNews.lk

මෝටර් රථ සඳහා අංක තහඩු මුද්‍රණය කිරීම නව සමාගමකට පැවරීම හා ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම අද (10) සිදු කෙරුණා.

මෙම අවස්ථාව සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්, මාර්ග ප්‍රවාහන නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ අදාළ පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එක්ව සිටියා.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසුවේ අදාළ ගිවිසුමට අනුව මාස 3ක් ඇතුළත එම සමාගම අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කළ යුතු බවයි.

තවද මෙම ගිවිසුම ප්‍රසම්පාදනය කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වූ බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීම හරහා එහි අනුමැතියෙන් අනතුරුව නීතිපතිගේ උපදෙස් මත මෙම ගිවිසුම අත්සන් කළ බවත් ඔහු මෙහිදී පැවසුවා.

කෙසේ වෙතත් එම සමාගම සමඟ මුලික සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

මාස දෙකක වැනි කාලයක් අතරවාරයේ මෙම කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම ව්‍යාපෘතිය බිලියන 3ක පමණ වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් වන බවත් එය අද අද (10) දින සිට අවුරුදු 5ක කාලයක් සඳහා අදාළ සමාගමට ලබාදී ඇති බවත්ය.

'' වේරහැර අපේ තියෙන කාර්යාල පරිශ්‍රයේ තමයි වඩාත් ඉඩ පහසුකම් සහිතව මේ කටයුතු ආරම්භ කරන්නේ. මාස දහයකට ආසන්න කාලයක් අපි දැන් නම්බර් ප්ලේට් ප්‍රින්ට් කරන්නේ නැතුව නවත්තලා දාලා තියෙනවා. ඒ නිසා මේ සියලු කටයුතු නිම කරන්න අපිට කාලයක් යනවා. කෙසේවෙතත් අපි මේ කටයුතු ආරම්භ කිරීම හැකි ඉක්මනින් පටන් ගන්නවා.. අප්‍රේල් අග මැයි මුල සතියේ වගේ වෙද්දී පටන් ගන්න බලාපොරොත්තු වෙනවා.. මාස තුනක් ගත කරන්නේ නැහැ. අපේ සහයෝගයත් අපි ලබා දීලා තියෙනවා.. දැනටමත් ඒ සමාගම, වේරහැර අපේ පරීශ්‍රයේ මූලික ඉදිකිරීම් කටයුතු පටන් අරන් තියෙනවා. ඒ වගේම අද සාකච්ඡාවේදී ඒ සමාගම දැනුම් දුන්නා අවශ්‍ය මුද්‍රණ යන්ත්‍ර ආනයනය කරන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා ඒ වගේම සති තුනක් ඇතුළත ඒ කටයුතු නිම කරන බවත් ප්‍රකාශ කර සිටියා.''