පේරාදෙණිය විශ්ව විද්‍යාලයට දිවියන් පැමිණීම නිසා ආරක්ෂක නිවේදනයක් නිකුත් කරයි

PranaNews.lk

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ආරක්ෂිත නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ දිවියන් කිහිප දෙනෙක් දුටු බවට වාර්තා වීම සමඟ මෙම නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

උපකුලපති කාර්යාලය විසින් නිකුත් කරන ලද අභ්‍යන්තර නිවේදනයකට අනුව පසුගිය මාර්තු 4 වනදා පැවැති විශ්ව විද්‍යාල ආරක්ෂක කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ විශ්ව විද්‍යාලයේ ස්ථාන කිහිපයක දිවියන් දැක ඇති බවත් පශු වෛද්‍ය ගොවිපොලෙහි සතුන්ට පහරදීම් ගණනාවක් ද වාර්තා වී ඇති බවත්ය.

මෙම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් විශ්ව විද්‍යාල පරිපාලනය සියලුම සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ගමන් කිරීමේ දී සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙසත් එහිදී විශ්ව විද්‍යාල පරිපාලනය සඳහන් කර ඇත.

ඊට අමතරව විශ්ව විද්‍යාල ප්‍රජාවේ සාමාජිකයන්ට අලුයම, සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනිව ඇවිදීමෙන් වළකින ලෙසද පවසා තිබෙනවා.

විශ්ව විද්‍යාල පරිපාලනය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ දිවියන් දුටුවහොත් වහාම විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට වාර්තා කරන ලෙසයි.

පශු වෛද්‍ය ගොවිපොළ සහ ඒ අවට ප්‍රදේශවල අමතර ප්‍රවේශම් වන ලෙසද ඉල්ලා තිබෙනවා.