ශ්‍රී ලංකාවේ සුපිරි කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සිය ජාත්‍යන්තර මලල ක්‍රීඩා දිවියෙන් සමුගන්නා බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඔහු සඳහන් කළේ, රට වෙනුවෙන් ජයග්‍රහණ රැසක් හිමිකර දීමට හැකිවීම තම ජීවිතයේ ලැබූ විශාලතම ගෞරවය බවයි.
"රට දැයට ණය නැතිව, ලෝකයට ණය වී ක්‍රීඩාවෙන් සමුගනිමි" යනුවෙන් සිය පණිවිඩය ආරම්භ කළ යුපුන්, දකුණු ආසියාවේ වේගවත්ම ධාවකයා බවට පත්වීම තමාගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ජයග්‍රහණයක් බව සඳහන් කර තිබෙනවා.
තමන්ට නිරන්තරයෙන් ශක්තියක් වූ ශ්‍රී ලාංකික ජනතාව, දෙමාපියන්, පවුලේ සාමාජිකයන්, මිතුරන්, පුහුණුකරුවන්, යුද හමුදාව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ඉතාලියේ පුහුණු කාර්ය මණ්ඩලය, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම සියලු අනුග්‍රාහකයන් වෙත ද ඔහු සිය කෘතඥතාව පළ කර තිබෙනවා.
එමෙන්ම, සිය ජාත්‍යන්තර පුහුණුවීම් සඳහා සහාය ලබාදුන් TV දෙරණ ආයතනයේ ප්‍රධානී දිලිත් ජයවීර මහතා, ලක්සිරි වික්‍රමගේ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු පිරිසට ද විශේෂ ස්තුතිය පිරිනමා තිබෙනවා.
සිය සමුගැනීම පිළිබඳව අදහස් දක්වමින් යුපුන් අබේකෝන් සඳහන් කරන්නේ, තවදුරටත් ක්‍රීඩා කිරීමේ හැකියාව තිබියදී මෙම තීරණය ගැනීම කිසිසේත්ම පහසු නොවූ බවයි.
කෙසේ වෙතත්, එම තීරණයට හේතු වූ කරුණු සහ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රීඩා පද්ධතිය පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කරන බව ද ඔහු සිය සටහනෙන් ප්‍රකාශ කර ඇත.
සිය පණිවිඩය අවසානයේ ඔහු, ශ්‍රී ලංකාව නියෝජනය කරන නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිවේවායි ප්‍රාර්ථනා කරමින්, "ශ්‍රී ලංකා මාතාවට ජය වේවා" යනුවෙන් සිය සමුගැනීමේ පණිවිඩය අවසන් කර තිබෙනවා.