නියෝග පැහැර හරින විදුලි සේවකයින්ට කළමනාකාරීත්වයෙන් අනතුරු ඇඟවීමක්

PranaNews.lk

ගම්පහ, බේරුවල, පුත්තලම, කළුතර, රත්නපුර, අනුරාධපුරය ආදී ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ සහ රාත්‍රියේ බිඳ වැටීම් සිදුව තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12000කට අධික ගණනාවක් සිදුව ඇති බවට වාර්තා වනවා.

මේ අතර 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල සංශෝධිත පනත ප්‍රකාරව, 2026 මාර්තු 9 වනදා ලංකා විදුලිබල මණ්ඩලයේ කටයුතු නිල වශයෙන් අනුප්‍රාප්තික සමාගම් වෙත පවරා දීමෙන් පසුව ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (EDL), නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විස් ප්‍රවයිඩර් (NTNSP) යන සමාගම්වල කළමනාකාරීත්වය විසින් සියලුම සේවකයින් වෙත දැඩි නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අනුමත මුලික පැවරුම් සැලැස්මට අනුව සියලුම ලංවිම සේවකයින් අදාළ අනුප්‍රාප්තික සමාගම් 4 වෙත අනුයුක්ත කර ඇති බව සඳහන්.

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ඔවුන් නිත්‍යානුකූලව තම රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බවද ඉන් අවධාරණය කර තිබෙනවා.

මේ අනුව අදාළ නිවේදනයේ දැක්වෙන්නේ,

2026 පෙබරවාරි 28 දින නිකුත් කරන ලද අංක 2477/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයට අනුව විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, සේවයට වාර්තා කිරීම ප්‍රතික්ෂේප කිරීම බරපතළ වරදකි.

සමහර සේවකයින් සේවයට වාර්තා නොකර වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නියැලී සිටින බව ප්‍රධාන විධායක නිලධාරීන් වන ඉංජිනේරු එස්.අයි. කුමාර සහ ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ යන මහත්වරුන් පෙන්වා දී ඇත.

නව සමාගම් සඳහා වන පත්වීම් ලිපි ලබාදීමේ කටයුතු මේ වනවිට සිදු වෙමින් පැවතියද , එමගින් සේවකයින් ඔවුන්ගේ ක්ෂණික රාජකාරිවලින් නිදහස් නොවන බව කළමනාකාරිත්වය අවධාරණය කරයි.

ඒ අනුව, වර්ජනයේ නියැලී සිටින සියලුම සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස නියෝග කරනු ලැබේ.

මෙම නියෝගය පැහැර හරින පුද්ගලයින්ට එරෙහිව අත්‍යවශ්‍ය සේවා රෙගුලාසි යටතේ දැඩි විනය ක්‍රියාමාර්ග සහ නීතිමය පියවර ගන්නා බව වැඩිදුරටත් දන්වා සිටියි.