විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳ යෝජනාවට අධිකරණ සේවා සංගමයේ දැඩි විරෝධය

PranaNews.lk

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමය අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වූ අතර, ඊට සහභාගී වූ විනිසුරුවරුන් ආණ්ඩුවේ යෝජනාවට ඒකමතිකව විරෝධය පළ කර තිබෙනවා.

මෙම රැස්වීමට විනිසුරුවරුන් 65 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනාම විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, සාමාජිකයින් 250කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන අධිකරණ සේවා සංගමයේ මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් බරපතල ව්‍යවස්ථාපිත සහ පරිපාලනමය මතභේදයක් ද මතුව තිබුණා.

සංගමයේ ව්‍යවස්ථාවට අනුව විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීම සඳහා සමස්ත සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් එකක ලිඛිත ඉල්ලීමක් හෝ විධායක සභාවේ අනුමැතිය අවශ්‍ය වන නමුත්, මෙම රැස්වීම සඳහා විධායක සභාවේ අනුමැතිය ලබා දී තිබුණේ සාමාජිකයින් 40කට ආසන්න පිරිසක් පමණක් බව සඳහන්.

ඒ අනුව, රැස්වීම නීත්‍යනුකූලව කැඳවීමට අවශ්‍ය සාමාජික සංඛ්‍යාව සම්පූර්ණ වී නොමැති බව පෙන්වා දෙමින්, අධිකරණ සේවා සංගමයේ සභාපති සහ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම රැස්වීම කැඳවිය නොහැකි බවට විරෝධය පළ කර තිබුණා.

එම මතභේදය මධ්‍යයේ, අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව ද වාර්තා වනවා.

සිය ඉල්ලා අස්වීමට හේතු පැහැදිලි කරමින් ඔහු සංගමයේ සාමාජිකයින් වෙත යොමු කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, ඊට ප්‍රතිචාර ලෙස සභාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා යොමු කළ බව කියන ලිපියක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

කෙසේ වෙතත්, මතුව තිබූ මතභේද නොතකා, අධිකරණ සේවා සංගමයේ සහකාර ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහා සභා රැස්වීම අද පෙරවරු 10ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වුණු අතර, ඊට සහභාගී වූ විනිසුරුවරුන් රජයේ යෝජනාවට ඒකමතිකව විරෝධය පළ කර තිබෙනවා.