22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (24) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
අදාළ පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදී 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවැත්වීම අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් පමණක් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබුණා.
එමෙන්ම අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙන්වා දී තිබුණේ.
ඒ අනුව අද දිනයේ සහ හෙට (25) දිනයේදී ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට නියමිත අතර, හෙට පස්වරුවේ අදාළ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.
මේ අතර 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට රාජ්‍ය පරිපාලන, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ද හිමිව තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් අදාළ කාරක සභාව රැස්වී ඇති අතර, එහිදී පනත් කෙටුම්පත් දෙක සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කාරක සභාව වෙත විශේෂ පැහැදිලි කිරීමක් ද සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය වැඩිදුරටත් සඳහන් කළේ.