වැලිකඩ බන්ධනාගාර රෝහලේ රැඳවියෙකු මියයයි - CPRPයෙන් බරපතළ චෝදනා

PranaNews.lk

වැලිකඩ බන්ධනාගාර රෝහල තුළ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 21 දෙනාගෙන් එක් අයෙකු ඊයේ (07) රාත්‍රී මියගොස් ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) පවසනවා.

එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මියගොස් ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ 09 වැනි වාට්ටුවේ රඳවා සිටි "අවිශ්ක" නමැති රැඳවියෙකු බවයි.

මෙම රැඳවියා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව වැලිකඩ වෙත යොමු කළ රැඳවියෙකු ලෙසද වාර්තා වනවා.

එමෙන්ම, මෙම මරණය සියදිවි නසාගැනීමක් ලෙස පෙන්වීමට බන්ධනාගාර බලධාරීන් උත්සාහ දරන බවටද CPRP බරපතළ චෝදනාවක් එල්ල කර තිබෙනවා.

මියගිය රැඳවියාගේ ගෙල වටා රෙදි පටියක් දමා තිබූ බවද එම කමිටුව සඳහන් කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස එම සංවිධානය ඉල්ලීමක් ද කර සිදුකර ඇත.

කෙසේ වෙතත්, CPRP විසින් එල්ල කර ඇති මෙම චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ පොලීසිය මේ දක්වා නිල ප්‍රතිචාරයක් නිකුත් කර නොමැති අතර, ඒ පිළිබඳ ස්වාධීන තහවුරු කිරීමක්ද මෙතෙක් සිදුවී නැහැ.