ලෝකයේ මනුෂ්‍යත්වය ඉහළින්ම ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා - ජනාධිපති

PranaNews.lk

ලෝකයේ මනුෂ්‍යත්වයේ ඉහළින්ම තිබෙන රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම තම අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) කොළඹ දී පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වෙමින්.

ලෝකයේ ඇති වන ඕනෑම යුද්ධයකදී මනුෂ්‍යත්වයේ කොඩිය ඉදිරියට ගත් ශ්‍රී ලාංකීය ජාතිය යන පණිවුඩය ලෝකයට ගෙන යන බවද ඔහු මෙහිදී පැවසුවා.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ ලෝකයේ දියුණු රටවල් කොතෙක් තිබුණ ද ලංකාව කුමන ආර්ථික ගැටළුවලට මුහුණ දුන්න ද මනුෂ්‍යත්වයෙන් පිරි ජනතාවක් ජීවත් වන එක රටම ශ්‍රී ලංකාව යන සන්නාමය ලෝකයට ගෙන යන බවයි.

"මම හිතනවා අපි ආණ්ඩුව හදනකොට සුවිශේෂි කාර්යයක් මෙතන ඉන්න සහෝදරියෝ විසින් ඉටුකළා. ඒ වගේම මෑත ඉතිහාසයේ කාන්තාවන් විශාල ප්‍රමාණයක් එක තැනකට එක්වුණ පළමු අවස්ථාව මෙයයි...මා හිතනවා ආණ්ඩුවක් සහ පාලනය හොඳද කියලා මනින්න තියෙන හොඳම නිර්ණායකය තමා ඒ රටේ කාන්තාව මොනතරම් ප්‍රමාණයකින් ආණ්ඩුවත් එක්ක ඉන්නවාද කියන සාධකය. අද මේ පෙන්නුම් කරන්නේ අපේ පාලනය පිළිබඳව, අපේ ආණ්ඩුකරණය පිළිබඳව මේ රටේ තියෙන පොදු විශ්වාසයේ සංකේතයක් ලෙස ඔබ දහස් ගණනක් මේ අවස්ථාවට එක්වෙලා ඔප්පු කරලා තියෙනවා.  

අපේ අභිප්‍රාය කුමක් ද ? දුක, වේදනාව විශාල බරක් තමන්ගේ හිස මත, තමන්‌ගේ හදවත තුළ දරාගෙන ඉකිගසන ගැහැණුන් හැමදෙනාටම සිනාමුසු අනාගතයක් නිර්මාණය කිරීමට අපි වැඩකරමින් ඉන්නවා...අපේ අනාගතය නිර්මාණය කළ හැකි වන්නේ සමස්තයක් ලෙස රට, ජාතියක් ලෙස අපි ඉහළට එසවෙන්නේ කෙසේ ද ? යන සමස්ත වැඩපිළිවෙල තුළ කාන්තාවන්ට අනන්‍යවූ ප්‍රශ්න, ඇය ඇයවීම නිසා මුහුණදෙන ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කරමින් අපි අවධානය යොමු කරමින් සැලසුම් සකස් කර තිබෙනවා."