වැඩි කළ බස් ගාස්තුව ප්‍රමාණවත් - හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි - ගැමුණු විජේරත්න

PranaNews.lk

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් වැඩි කළ නව බස් ගාස්තුව දැනට ප්‍රමාණවත් බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ හෙට (24) දිනයේ සිට සාමාන්‍ය පරිදි බස් ධාවන කටයුතු සිදු කරන බවයි.

මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු මිල 12.19%කින් ඉහළ නැංවීමට අනුමැතිය හිමිවූ බවයි.

ඒ අනුව රුපියල් 27කට පැවැති අවම බස් ගාස්තු රුපියල් 30ක් දක්වා ඉහළ යනු ඇති.

අවසන් ගාස්තුව ලෙස පැවැති රුපියල් 2159 බස් ගාස්තුව රුපියල් 2422ක් දක්වා රුපියල් 263කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ අතර මඟීන්ගෙන් නියමිත බස් ගාස්තුව පමණක් අය කරන ලෙස ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවකයින් වෙත දැනුම් දී තිබෙනවා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ නියමිත ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අයකරන පුද්ගලයින්ට නිත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.

නියමිත බස් ගාස්තුවට වඩා වැඩියෙන් බස් ගාස්තු අය කළහොත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 යන වට්ස්ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කරන ලෙස ද ගමනාගමන කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.