බස් යම් කිසි ප්‍රමාණයක් අද (23) දිනයේ ධාවනය වුවත් ඇතැම් ප්‍රදේශවල බස් ධාවනයේ අඩුවක් දක්නට ලැබෙනවා.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසන්නේ අධිවේගී මාර්ගවල සම්පුර්ණයෙන්ම බස් ධාවනය අඩාල වී ඇති බවයි.
මේ හේතුවෙන් මඟින් සාමාන්‍ය මාර්ගවල ගමන් කිරීමට පෙළඹ ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඔහු සඳහන් කළේ අද (23) දිනයේ ලංගම බස් රථ සියල්ල ධාවනයේ යෙදුණ ද පෞද්ගලික බස් රථවල අඩුවක් දක්නට ලැබෙන බවත්ය.
ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද බස් ගාස්තු සංශෝධනය අද (23) සවස අමාත්‍ය මණ්ඩලය හමුවට යොමු කිරීමට නියමිතයි.
මේ අනුව අනුමැතිය හිමි වූ වහාම එය දැනුම් දෙන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 10%කට වඩා වැඩි ප්‍රමාණයකින් බස් ගාස්තුව වැඩි වීමට කොමිෂන් සභාව අනුමැතිය ඉල්ලු බවත් බස් ගාස්තුව අවම ගාස්තුවේ සිට උපරිම ගාස්තුව දක්වා වූ බස් ගාස්තු 350ක් සකස් කර ඇති බවත්ය.
මේ අතර බස් ධාවනයෙන් ඉවත් වීමට අද (23) ගත් තීරණය වර්ජනයක් නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.
ඔහු සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ යාම සමඟ පැරණි බස් ගාස්තුව යටතේ ධාවනය කළ නොහැකි බැවින් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
නමුත් එය කිසිසේත් වර්ජනයක් නොවන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.
"මේක ප්‍රධාන ගැටලුවකට තියෙන්නේ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කිරීම කියන ප්‍රශ්නේ. පසුගිය කාලය පුරාම ක්ෂණිකව මේ ඩීසල් වැඩිවුණාම පසුගිය ආණ්ඩු මේක ලබා දෙන්න කටයුතු කළා. ආණ්ඩුව දැනගන්න ඕනේ මේක ව්‍යාපාරයක්. අපි කරන්නේ බිස්නස් එකක් කවුරුහරි වැඩ කරනවාද පඩියක් නැතිව. අපිට ධාවනය කරන්න බැරි නිසා තමයි අපි ධාවනයෙන් ඉවත් වුණේ. කෙටි සේවාවට රුපියල් 5,000-6,000ක් පාඩු වෙනවා ඒ වගේම දුර සේවාවට රුපියල් 15,000 - 20,000ක් අතර පාඩු වෙනවා ඒක තමයි අපි දිගින් දිගටම කිව්වේ පාඩුවට දුවන්න බෑ. අපි කොයි වෙලාවේවත් කිව්වේ නෑනේ බස් වර්ජනය කරනවා කියලා. අපි වර්ජනය නෙමෙයි කෙරුවේ පාඩු නිසා ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කළා.
කොහොම නමුත් අපි අනිවාර්යයෙන්ම දන්නවා බස් ගාස්තුව අද ලබා දෙනවා කියලා. නමුත් මෙතන තව එකක් තමයි පසුගිය ආණ්ඩු, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අදාළ බලධාරීන් අපිත් සමග සාකච්ඡා කරනවා. නමුත් පසුගිය කාලේ කිසිදු සාකච්ඡාවක් නැතිව තමයි ජාතික ගමනාගමන ප්‍රවාහන කොමිෂන් සභාව සහ ප්‍රවාහන අමාත්‍යාංශය කළේ. අපි පොඩි සිග්නල් එකක් දුන්නා අපිත් එක්ක සාකච්ඡා කරලා කටයුතු කරන්න එහෙම නැතිව අපිට ඉස්සරහට ගමනක් යන්න හැකියාවක් නැහැ කියලා."