ශ්‍රී ලංකාවට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට සුදානම් - ඉරාන තානාපති

PranaNews.lk

ශ්‍රී ලංකාව සිය මිත්‍ර රටක් බැවින් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කොෂ් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (23) කොළඹ ඉරාන තානාපති කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ශ්‍රී ලංකාව තෙල් හෝ වෙනත් ඕනෑම අත්‍යාවශ්‍ය භාණ්ඩ ඉල්ලා සිටියහොත් ඉරානය එම භාණ්ඩ ශ්‍රී ලංකාවට ලබාදීමට සුදානම් බවයි ඉරාන තානාපතිවරයා පැවසුවේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඉරානය සිය මිත්‍ර රටවලට වසා දමා නොමැති බවයි.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට තම රටට අවශ්‍යතාවක් නොමැති බවත් ශ්‍රී ලංකාව ඉරානයට ඉතා ගෞරවනීය රටක් වන බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර පසුගිය දා ඇමෙරිකානුසබ්මැරීනයක් මඟින් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් මුහුදු බත් වූ ඉරානයේ IRIS Dena යුද නෞකාවේ සිටි පිරිස මුදා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය පිළිබඳව ද ඉරාන තානාපතිවරයා මෙහිදී අදහස් දැක්වුවා.

එහිදී ඔහු පැවසුවේ ඉරාන ඉල්ලීමක් කිරීමට පෙර ශ්‍රී ලංකා රජය උදව් උපකාර කළ බවයි.

මේ අතර ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමට ඉරාන රජය සුදානම් බවද ඉරාන තානාපතිවරයා මෙහිදී සඳහන් කළා.