නිදහස් චතුරස්‍රයේ ඇවිදින මංතීරුව අබලන් - කඩිනම් පිළිසකර කිරීමක් ඉල්ලමින් හර්ෂ ද සිල්වාගෙන් ඉල්ලීමක්

PranaNews.lk

කොළඹ නිදහස් චතුරස්‍රයේ පිහිටි ඇවිදින මංතීරුව දැඩි ලෙස අබලන් වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, එම මංතීරුව මහජනතාවට අනතුරුදායක තත්ත්වයක පවතින බැවින් කඩිනමින් පිළිසකර කරන ලෙසයි.

ඒ සඳහා කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරියගෙන් සහ නාගරික සංවර්ධන අධිකාරියෙන් ද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.

මීට වසර 15කට පමණ පෙර ඉදිකරන ලද මෙම ඇවිදින මංතීරුව උදෑසන ව්‍යායාම්වල නිරත වන විශාල පිරිසක් භාවිත කරන ස්ථානයක් බවත්, එහි පවතින අබලන් තත්ත්වය හේතුවෙන් ජනතාවගේ ආරක්ෂාවට අවදානමක් මතුව ඇති බවත් හර්ෂ ද සිල්වා මහතා සිය X සටහනෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

“මීට වසර 15කට පමණ පෙර ගෝඨාභය රාජපක්ෂ නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකළ දා සිට, මා ඇතුළු බොහෝ දෙනෙක් එහි නිතිපතා ඇවිදීමට හුරුවූහ. විශාල පිරිසක් එම උදෑසන ඇවිදීමෙන් සතුටක් ලබති. මනාව නඩත්තු කරන ලද මංතීරුවක, සාමකාමී මෙන්ම ප්‍රබෝධමත් ඇවිදීමකට පසු… සමහරවිට කොළකැඳ වීදුරුවක රස බැලීමටද ඔවුන් අමතක නොකරති…

එහෙත් ඇත්තටම, මෙම ඇවිදින මංතීරුව මෙතරම් අබලන් තත්ත්වයකට පත්ව ඇති අයුරු මම මීට පෙර කිසි දිනෙක දැක නැත. මෙහි මතුවී ඇති ගල් කැට සහ උල් වූ කොටස් ඇවිදින්නන්ට, විශේෂයෙන්ම වයෝවෘද්ධ අයට දැඩි අනතුරකි. මංතීරුව අලුත්වැඩියා කිරීම සඳහා ගෙනෙන ලද පස් මාස ගණනාවක් තිස්සේ කිසිදු ප්‍රයෝජනයකට නොගෙන එලෙසම පවතී.

නගරාධිපතිනි ව්‍රායි සහ නාගරික සංවර්ධන අධිකාරිය, යමෙකු බරපතල ලෙස තුවාල ලැබීමට පෙර මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න. ස්තූතියි.”