මැදපෙරදිග යුද ගැටුම් හමුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදයට මුහුණු දීම සඳහා හැකි පමණින් ඉන්ධන අරපිරිමැස්මකින් යුතුව පරිභෝජනය කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
සභාපතිවරයා මේ බව සඳහන් කළේ අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
තමන්ට හැකි පමණින් ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා කටයුතු කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ පසුගිය දින කිහිපයේ තෙල් හිඟයක් පවතින බවට බියෙන් ජනතාව විසින් ඉන්ධන වැඩි වශයෙන් මිලදී ගැනීම, මෙම මිල ඉහළ යාමට බෙහෙවින් බලපෑ බවයි.
එලෙස නොවුණ හොත් මේ මස අඟවන තුරු පැවැති මිල ගණන් යටතේ ඉන්ධන මිලදී ගැනීමට හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්ධන අර්බුදය ලෝකයටම බලපෑම් එල්ල කරන බවත් ඒ සඳහා සාමුහිකව කටයුතු නොකළහොත් දැඩි අවධානමකට මුහුණ දීමට සිදුවන බැවින් පරිභෝජනය සීමා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත්ය.