භාණ්ඩ වර්ග 2,634ක් මත සෙස් බද්ද අදියරෙන් අදියර ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

PranaNews.lk

 

2026 සිට 2029 දක්වා වසර හතරක කාලය තුළ භාණ්ඩ වර්ග 2,634ක් මත පනවා ඇති සෙස් බද්ද අදියරෙන් අදියර ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සහ රජයේ ආදායම් වැඩි කිරීම වැනි අරමුණු යටතේ සෙස් බද්ද ඇතුළු රේගු බදු නොවන විවිධ ආනයන බදු දිගු කාලයක් පුරා පනවා තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂයෙන් අතරමැදි සහ නිෂ්පාදන සඳහා භාවිතා වන යෙදවුම් භාණ්ඩ ආනයනය කිරීමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් අපනයන කර්මාන්තවල නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත්, ජාත්‍යන්තර වෙළෙඳපොළවල ශ්‍රී ලංකා නිෂ්පාදනවල තරගකාරිත්වය අඩු වීමත් සිදුවී ඇති බව සඳහන්.

නිෂ්පාදන පිරිවැය අඩු කරමින් අපනයන තරගකාරිත්වය වැඩි දියුණු කිරීම, කර්මාන්ත ප්‍රවර්ධනයට සහ අගය එකතු කිරීමට සහාය වීම, වෙළෙඳාම පහසු කිරීම සහ සියලු පාර්ශ්වකරුවන් සඳහා සමාන තරගකාරි පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු මත මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව, සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 2,634ක් යටතේ ආනයනය කරන භාණ්ඩ මත පනවා ඇති සෙස් බද්ද 2026 සිට 2029 දක්වා වසර හතරක කාලය තුළ අදියරෙන් අදියර ඉවත් කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.