නිවසේ සිට රාජකාරි සිදුකිරීමේ හැකියාව සොයා බලන්න

PranaNews.lk

මැදපෙරදිග යුදමය තත්ත්වය සමඟ මතුවූ තත්ත්වයට පූර්ව උපකල්පන ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් නොවන බැවින් මතුවන නව තත්ත්වයන් පිළිබඳව නිරන්තර අධීක්ෂණ පවත්වාගෙන යමින් රටක් ලෙස මෙම අභියෝගයට සාමුහිකව මුහුණ දිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පවතින තත්ත්වය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාමේ දී මතුව ඇති ගැටළු පිළිබඳව අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමඟ අද (15) ජනාධිපති කාර්යාලයේ දී පැවැති සාකච්ඡාවකදීයි.

අධ්‍යාපන ආදී ක්ෂේත්‍රයන් පවතින තත්ත්වය හමුවේ පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

ඉන්ධන පිරිමැසුම් ක්‍රමවේදයක් තහවුරු කිරීම වෙනුවෙන් නිවසේ සිට රාජකාරි සිදු කිරීමේ හැකියාව පිළිබඳව සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධ්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

තවද සෞඛ්‍ය සේවය නිසි පරිදි පවත්වාගෙන යාම පිළිබඳ විශේෂ අවධානයක් මෙම සාකච්ඡාවේ දී යොමු කර ඇති බව වාර්තා වනවා.

මේ වෙනුවෙන් අත්‍යාවශ්‍ය ඉන්ධන සංචිත ප්‍රාදේශීයව පවත්වාගෙන යාමේ හැකියාවක් පිළිබඳව සොයා බලන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත්තේ කෘෂිකර්මාන්ත, ධීවර හා කර්මාන්ත අංශයන්හි ඉන්ධන අවශ්‍යතා සැපයීම වෙනුවෙන් ඩිජිටල් කේත ක්‍රමය (QR) කඩිනමින් විධිමත් කිරීමේ අවශ්‍යතාව ඇති බවයි.