ශිරන්ති රාජපක්ෂ රටින් පිටවූ බවට පළවන වාර්තා අසත්‍යයි - රාජපක්ෂ පවුලෙන් ප්‍රකාශයක්

PranaNews.lk

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රටින් පිටව ගිය බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු පවසනවා.

එම සාමාජිකයා සඳහන් කළේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවයි.

ඊයේ (15) දිනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ ඇය, එතැන් සිට සෘජුවම ගුවන් තොටුපළ වෙත පැමිණි බවද අදාළ සාමාජිකයා පැවසුවා.

අද (16) අලුයම 12.50ට ගුවන් යානය පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම අදාළ කැඳවීමේ ලිපිය ගෙනැවිත් භාරදී ඇත්තේ ඇය ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයට පැමිණීමෙන් අනතුරුව බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස සිංගප්පූරුව බලා පිටත්ව ගිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය එළැඹෙන 19 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවද වාර්තා වනවා.