ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩුවක් සිදුකළ බවට වන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා.
මෙම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මීට පෙර අවස්ථාවක පෙනී සිටින ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණද ඔහු එදින පැමිණ නොසිටි අතර, ඒ හේතුවෙන් පසුගියදා අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසටද ගොස් තිබුණා.
කෙසේවෙතත් එම අවස්ථාවේදීද මන්ත්‍රීවරයා නිවසේ සිට නොමැති අතර, සිය දියණියගේ විවාහ මංගල්‍යයේ කටයුතු හේතුවෙන් ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් මාර්ගයෙන් කොමිසමෙන් ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.
ඒ අනුව, ලබාදුන් නව දිනයට අනුව රවී කරුණානායක මහතා අද මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට ඇත.